ETCA ගිවිසුම – දැන් කල යුත්තේ කුමක්ද?

ETCA ගිවිසුම ගැන කීමට ඇත්තේ එක් දෙයකි. කරුමෙට නොවෙන්නේ ද එයයි.
 
යම් මත වාදයකට තුඩු දෙන කාරණයක් ඉස්මතු වූ විට අවංක මිනිසුන් කරන්නේ එය විවෘත සංවාදයකට බඳුන් කිරීමය. උදාහරණයක් ගතහොත් දියුණු රටවල ජනාධිපතිවරණයකදී අපේ්ක්ෂකයින් එකම වේදිකාවක තමන් ඉදිරිපත් වන මත වාදය ඉදිරිපත් කරයි. තීවෘර ලෙස මත වාද ඉදිරිපත් වූවත්, අඳ බාල මඩ ගැසීම් සිදු වන්නේ නැත. ජනතාව ගොනාට ඇන්දීම් සිදු වන්නේ නැත. අවසානයේදී රට යා යුතු මග ජනතාව තීරණය කරති.
 
ETCA පිලිබඳ කාරණයේදී, ප්‍රධාන මතවාද දෙකක් ඉදිරිපත් වී ඇත. එක් පිළකින් ඉදිරිපත් වන්නේ එය ශ්‍රී ලංකාවේ අභිවෘද්ධියට හේතු වන බවයි. ඒ මගින් අප රටේ තරුණ තරුණියන්ට රැකියා 1,000,000 වැඩ පිලිවෙලක් ගැන ප්‍රකාශ වූවත් ඒ වැඩ පිලිවෙල කුමක්ද? එම වැඩපිලිවෙල හරහා අප රට අගාධයට පත් නොවී දියුණුවට පත් වන්නේ කෙසේද? එම වැඩපිලිවෙල අසාර්ථක නොවීමට රජයක් වශයෙන් අප ගෙන ඇති හා ගන්නා ක්‍රියාමාර්ග මොනවාද? යන්න ජනතාවට රහසකි. එම කාරණා පිලිබඳ පැහැදිලි පිළිතුරක් ලබා නොදී, එම ගිවිසුමට විරුද්ධ වන්නන් මර්ධනය කිරීම මගින් වන කිසිදු යහපතක් නොමැත.
 
මෙම ගිවිසුමට විරුද්ධව ඉදිරිපත් වන කාරණය වන්නේ මෙම ගිවිසුම මගින් අප රටේ තිබෙන රැකියා ප්‍රමාණයත් ඉන්දියානුවන් ට ලැබීමට ඉඩ ඇති අතර මෙ‍ම ගිවිසුම මගින් ශ්‍රී ලාංකික තරුණ තරුණියන් ට රැකියා අහිමි වීමත්, දැනට අප රටේ සිටිනා වෘත්තිකයින් රට හැර යාමත් සිදු විය හැකි බවය. තවද, අප රටේ වෘත්තිකයින්ගේ හැකියාව ඉහල මට්ටමක පවතින අතර කල යුත්තේ එවා තව තවත් දියුණු කිරීමට හා වෘත්තිකයින් ට අප රටේ ම වෘත්තීන් කරගෙන යාමට අත හිත දීමය. තවද අතීත ගිවිසුම් කාරණා සසඳා බැලීමේදී, මෙම ගිවිසුම මගින් කොපමණ රුකුලක් වේ දැයි සලකා බැලිය යුතුය.
 
දැන් කල යුත්තේ කුමක්ද? මෙම සංවාදය එකම වේදිකාවක කතා බහට ලක් විය යුතුය. ජන මත විමසුමකට යා ‍නොහැකි නම්; රටේ පිලිගත් , කිසිදු දේශපාලන පක්ෂයකට අයිති නොවන විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විවාදයකට බඳුන් කල යුුතුය. ගිවිසුමට පක්ෂව ඉදිරිපත් වන කාරණා හා විපක්ෂව ඉදිරිපත් වන කාරණා සසඳා බැලීමෙන් අනතුරුව පමණක් තීරණයක් ගත යුතුය. එසේ නොමැතිව මේ යන ආකාරයට කිරීමෙන් වන්නේ රට පස්සෙන් පස්සට තල්ලු වීම පමණි.

No Comments, Be The First!

Your email address will not be published.